ඔබ වෙනත් ඇමතුමක

18155951_1837212563267293_8931070184715679647_oසයිබර අහස සැරසූ
ලොකු ඇස් අයිතිකාරී
කිංකිණි සීණූ හැඬවූ
ඔබ ඒ ගායිකාවී

බිඳෙන් බිඳ හද ලං වූ
නමක් නැති බැමි බැන්ඳූ
ඉතින් ඒ ගී සිංදු
ගයා ඉවරද ළන්ඳූ?

දුර ඈත ඇමතුමක තාලයට
ම’හදවත මල් පිපෙයි
තද සීත රාත්‍රියෙක උණුහුමට
හිත් දෙකක් තුරුළුවෙයි
ඒ නමුදු ඒ සිහින අපෙ නෙවෙයි

විඩෙන් විඩ
මැසෙන්ජරයට එබෙමි
විඩෙන් විඩ
තවත් පණිවුඩ තබමි
ඔබ වෙනත් ඇමතුමක,

හිත නිවන ඒ සිහින
පෙම්බරයි
ඒ නමුදු ඒ සිහින
මගෙ නෙවෙයි

© නිරුත්තර.

ඔබ දෙතොල උණුහුම් ය

18010961_1833522863636263_7506998075409135647_n

ඔබ දෙතොල උණුහුම් ය
දැවෙන, මෘදු සැනසුම් ය
හුවමාරු වන සුසුම්
ඇත්තෙන්ම සන්සුන් ය
ඔබ, දැවෙන සිරුර
අයදින මොහොත,
කෝ කොහෙද
සොයන සැනසෙන පහස?
ඔය දෙතොල
කියන රස පිරි රහස
මේ මෙතැන නොවෙද
සැනසෙන අහස?

©නිරුත්තර.

වෙඩින් එක ගත්ත ද?

wedd.jpgපැටියෝ…!

අපි ප්ලෑන් කරපු විදියටම
ලස්සනට
වෙඩින් එක ගත්තද?
එයාටත් සතුටු ද?
ඔයාටත් සතුටු ද?

මට ඉතිං ෆොටෝවත්
දකින්නට නරක ද?
බ්ලොක් කරේ ඒකද?
“දැන් ඉතින් ජීවිතේ කොහොම ද?”
ඉඳහිටක වත් ඇවිත්
අහන්නේ කොහොම ද?

© නිරුත්තර.
2016 අප්‍රේල් 12

මා මිත්‍ර පුස්ථකයෙනි !

17620465_1818065748515308_126533243239214772_o

මා මිත්‍ර පුස්ථකයෙනි !
මම තොපව සෙනෙහසින් වැළඳ ගමි..
ජීවිතේ නපුරු කළදසාවෙක,
පතුලකුදු නොපෙනෙනා
අඳුරු පාතාලයට
ඇද වැටෙන වෙලාවෙක,
මම තොපේ පිටු අතර සැඟව යමි..
තොප තරම් පෙම්වන්ත
කිසිවෙකුදු නොමැති වග හැඳින ගමි..
පියෙවි සිහියෙන් මිඳී
අනත්තයකට වැදී
මම තොපේ පිටු අතර සැඟව යමි

මා මිත්‍ර පුස්ථකයෙනි !
මම තොපව සෙනෙහසින් වැළඳගමි…

©නිරුත්තර.

හන්තාන අහස යට -03

hanthana copyඔරලෝසු කණුව දෙසට පියනැගෙන අතරතුර කොළඹ A/C හොල්ට් එක අසලින් හැරී පාර මාරුවෙන්නේ නිරායාසයෙනි. මන්ද යත් දුමක් දැමීම අනිවාර්ය වන නිසාත් ඔරලෝසු කණුව අසල සුවපහසු කලාපයක් මේ‍ පාන්දර සොයා ගැනීම උගහට බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනුත් ය. මම ජංගමය ගෙන නැවත ඔහු අමතමි.

“පොඩ්ඩක් හිටපං යකෝ. බොට පුදුම හදිස්සියක්නේ මම තවම ලෑස්තිවෙනවා. උඹ කොහෙද ඉන්නේ?”

“හරි හරි අවුලක් නෑ හෙමිං වරෙන්. මම ගත්තේ උඹට රම්‍යා එකේ උඩ තට්ටුවට වරෙන් කියන්ඩ. කොළඹ A/C හොල්ට් එක ගාව එකට.”

“හරි අපි ඔතෙන්ඩ එනනම්. පැය බාගයක් විතර යයි. උඹ වැඩිය සිගරට් එහෙම බොන්නෑ අපි එනකං”

ඌ හිනාවීගෙන කිය යි. ඒ උගේ හැටි ය. ජංගමය සාක්කුවේ ඔබා ගෙන සෙමින් තරප්පු පෙළ නගිමි. ශාලාව මැදින් පිය මැන බැල්කනියෙහි ඇති මේසයක් වෙන් කර ගනිමි. එළියෙන් ඇසෙන කපුටන්ගේ උදෑසන නන්ස්ටොප් ඝණයේ ගී රාවයත් පාරේ ලහි ලහියේ දුවන වාහන ශබ්දයත් කණට කටුක මිහිරක් එක් කරන අතර එහි කැටිව ඇත්තේ හුදෙකලාව යැයි මට සිතේ. එහෙම හිතෙන්නේ මට ය. තවෙකෙකුට වෙන විදියකට සිතිය හැක. එක එකා එක එක විදිහ ය.

මම ශාලාව පුරා දෑස් පා කරමි. වේටර්වරයාගේ දෑස් අල්ලා ගැනීම පිණිස ය. ඔහු අතිශය කාර්ය බහුලව ඇත. “ටී….” “ප්ලේන් ටී….” “ආප්ප…” “බිත්තර ආප්ප….” “ඉතුරු සල්ලි….” “වතුර එකක්….” “පෙපර් ටිෂූ….”  නා නා විද විදි විධාන ය. වාසනාවට ඇස් – ඇස් හමුවූ ලකුණකි. මද සිනහවක්ද කැටුව ඔහු ම වෙත ආවේ ය.

“මහත්තයා… ගුඩ් මොර්නින්.. ටිකක් බිසි උණා. අද තනියමද?” ඔහු අසයි. වෙහෙසකර දෑස් හිනැහේ.

“අවුලක් නෑ…. කට්ටිය මග එනවා..”

“මහත්තයා මොනවද කන්නේ අප්ප…? බිත්තර ආප්ප? ආහ් පොල් රොටී තියෙනවා… බත් කනව නම් බත් කමු”  සුපුරුදු ලෙන්ඟතු කටහඬ ය.

“කන දෙයක් පස්සෙ කමු අංකල්. කට්ටිය ආවම. එතකන් ප්ලේන්ටියක් බොමු. සිගරට් එකකුත් ගේන්න. “ඩන්හිල් ස්ව්ට්ච්” එකක්.

හිස් බඩම ප්ලේන්ටි උගුරක් ගිල දමා සිගරට්ටුව දල්වා බිත්තියට ඇලවී හිස ගසා ගත් පසු සුවදායකය. ඉදිරි පස බිත්තියේ සවි කොට ඇති තරමක් විශාල පිටකුරු පංකාව තුලට නිතරඟයෙන්ම ඇද ගන්නා දුම් රැලි නෙක රටා මවමින් අතුරුදන් වෙයි. මනෝ පාර කොතෙක් වේලා පැවතියේ දැයි නොදනිමි. සිගරට්ටුව අවසන්ව තිබිණි. ෆිල්ටරය අළුබඳුන මත පොඩිකර හැර දමා ජංගමයට එබෙමි.

“අඩෝ ! උඹ සිගරට් කීයක් බිව්වද?” එ හඬින් හිස ඔසවමි. “අම්මෝ ඇති යන්තන් ආවා. උඹලට වෙලාවට වැඩක් කරන්න බෑ නෙහ්” කළුවාත්, ඉෂානයාත් පැමිණ ඇත. මම අසුනෙන් නැගිට ඔවුන් වැළද ගමි. “වාඩිවෙයල්ලා ! ඔක්කොටම කලින් මොනව හරි කාලා ඉමු බඩගිනියි බං යකෙක් කන්ඩ” වේටර්වරයා නැවත අල්ලා ගත යුතු ය.

***********************************

හැල්මේ දිවෙයි

17496017_204322073385605_565679481_n

රුදුරු ගොරබිමේ
සැඩ කුණාටු මැද මහ සයුරේ අතරමං
වී රුවල කැඩී පාවී යන
නැවියෝ වෙමු
රුදුරු කතරක
දිය බිදක් නොමැතිව තැවෙනා
දනන් වෙමු අරමුණක් ඇති ද නැතිසේ
ඉබේ දිවෙනා
යන්ත්‍රයන් සේ
එහා මෙහා දිවෙයි
යන්නේ කොයිබටද
කුමකටද?නිනව්වක් නැතිද?
හැල්මේ දිවෙයි
මහා ජන ගඟක් මැද තනිවී..
දිවෙයි දිවෙයි

©හංසි සඳමාලි.