ජීවිතය…

 

jeewithaya

ජීවිතය තරු ලකුණු නොම ගෙනා වේ
හැල හැපිලි සමග ගඟ ගලන්නා වේ
දෙමාපිය ස්නේහ ගඟ නැවතුනා වේ
හබල බර දරා ගෙන පැදිය යුතු වේ

ඉර හඳෙන් එළිය කළ සිහිනයකි බිඳුණේ
නුහුරු තනි කමට දුක කවියකට ගෙතුණේ
සොඳුර ඔබ පමණි නිති හිත ලඟම රැඳුණේ
නමුදු අද ඔබ ද නැත ඉරණමද? හැඟුනේ

දරාගෙන සියල් දුක හුදෙකලාවේ
ස්නේහ බිඳුවක් නොලැබ හිත විඩා වේ
නියත මරණය සොයා එන තුරා වේ
කවිය තුරුලට අරන් නැවතුනා වේ

-නිරුත්තර©

Advertisements

ඔව් සර් ! මගේ නම හිරුණි…

 

HIRU.jpgඔව් සර් ! මගේ නම හිරුණි
ඇත්තටම ඇත්ත නම
ඔබට දෙනු නොහැකියි

දොස්තරත් එබි එබී බලනවා
මිස් උනත් අවදියෙන් ඉන්නවා
ලෝකයාගෙන් ලබන නින්දාව, ගර්හාව
දරාගෙන උහුලගෙන ඉන්නනවා

අතීතය දරුණුතම
සිහිනයක් පමණි
මල්වරය මිහිරිතම
කඩයිමක් නොවුණී
සිය ගණන් පුරුෂ ලිගු,
වලට ලගු වෙනා’තර
සාප ලත් ජීවිතය ගෙවුණී

ලෙඩ ඇඳේ මව්තුමිය මිය යමින් ඉන්නවා
බේතකට හේතකට මම පඩිය යවනවා
නංගිලා මල්ලිලා පස් දෙනෙක් යැපෙනවා
පව්කාර දිවියකින් පවුලක්ම රැකෙනවා

ඔව් සර් ! මගේ නම හිරුණි
ඇත්තටම ඇත්ත නම
ඔබට දෙනු නොහැකියි

-නිරුත්තර©

අසිරිමත් සුබ මඟුල් ගෙදරක් ය…

WEDD.jpgඅද පපුව තෙමා තෙමා දවන්නේ
කටට හුරු සැර විස්කි උගුරක්ය
දෙනෝ දහසක් සෙනඟ දකින්නේ
අසිරිමත් සුබ මගුල් ගෙදරක් ය

බොහෝ කලෙකින් ලැබුණු පණිවිඩය
මඟුල් ගෙදරක ඉන්විටේෂන් ය
“එයා මට ආදරෙයි..”
“බිස්නස් ය කරන්නේ”
“අපි හොඳින් සතුටෙනිය හිඳින්නේ”
අන් යමක් කුමකටද? පතන්නේ,
ඔය හිතේ සැනසිල්ල පම‍ණෙකිය

විස්කිමය මදහසක් රඳවාන
ඇතුලතින් පුපුරනා දස දහස් ගිණි කඳුය
මඟුල් සිරි අසිරි මැද කෙලවරේ මේසයක
මම බලා ෙගන හිිදිමි
ඈතකින් ඔබ සිනාසෙණු පෙනෙයි

අසිරිමත් සුබ මගුල් ගෙදරක් ය…

-නිරුත්තර©

 

කඳුළු වගුරන රුදුරු රහසකි

NIHANDA.jpg

නිහඬවම ළය මැදින් පුපුරණ
මතක කැටි වුණු අකුණු සැරයකි
ප්‍රේමයේ රස රහස් මුසු වුණ
ගණං නොකළැකි කතා ගඟුලකි

සිනහවට තිත තබා සැනෙකින්
කඳුළු වගුරන රුදුරු රහසකි
අමාවක ඝණ අඳුරු අහසින්
පුරා හඳ එන තුරා හිඳිනෙකි

නින්ද සැඟවෙන දිනක මැදිියම
ඇසග පිපිරෙන මතක පොදියකි
සෙමෙන් මිය යන සොඳුරු හදවත
නොනිමි රිදවුම් රැදුණු අහසකි

-නිරුත්තර©