මා මිත්‍ර පුස්ථකයෙනි !

17620465_1818065748515308_126533243239214772_o

මා මිත්‍ර පුස්ථකයෙනි !
මම තොපව සෙනෙහසින් වැළඳ ගමි..
ජීවිතේ නපුරු කළදසාවෙක,
පතුලකුදු නොපෙනෙනා
අඳුරු පාතාලයට
ඇද වැටෙන වෙලාවෙක,
මම තොපේ පිටු අතර සැඟව යමි..
තොප තරම් පෙම්වන්ත
කිසිවෙකුදු නොමැති වග හැඳින ගමි..
පියෙවි සිහියෙන් මිඳී
අනත්තයකට වැදී
මම තොපේ පිටු අතර සැඟව යමි

මා මිත්‍ර පුස්ථකයෙනි !
මම තොපව සෙනෙහසින් වැළඳගමි…

©නිරුත්තර.

හන්තාන අහස යට -03

hanthana copyඔරලෝසු කණුව දෙසට පියනැගෙන අතරතුර කොළඹ A/C හොල්ට් එක අසලින් හැරී පාර මාරුවෙන්නේ නිරායාසයෙනි. මන්ද යත් දුමක් දැමීම අනිවාර්ය වන නිසාත් ඔරලෝසු කණුව අසල සුවපහසු කලාපයක් මේ‍ පාන්දර සොයා ගැනීම උගහට බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනුත් ය. මම ජංගමය ගෙන නැවත ඔහු අමතමි.

“පොඩ්ඩක් හිටපං යකෝ. බොට පුදුම හදිස්සියක්නේ මම තවම ලෑස්තිවෙනවා. උඹ කොහෙද ඉන්නේ?”

“හරි හරි අවුලක් නෑ හෙමිං වරෙන්. මම ගත්තේ උඹට රම්‍යා එකේ උඩ තට්ටුවට වරෙන් කියන්ඩ. කොළඹ A/C හොල්ට් එක ගාව එකට.”

“හරි අපි ඔතෙන්ඩ එනනම්. පැය බාගයක් විතර යයි. උඹ වැඩිය සිගරට් එහෙම බොන්නෑ අපි එනකං”

ඌ හිනාවීගෙන කිය යි. ඒ උගේ හැටි ය. ජංගමය සාක්කුවේ ඔබා ගෙන සෙමින් තරප්පු පෙළ නගිමි. ශාලාව මැදින් පිය මැන බැල්කනියෙහි ඇති මේසයක් වෙන් කර ගනිමි. එළියෙන් ඇසෙන කපුටන්ගේ උදෑසන නන්ස්ටොප් ඝණයේ ගී රාවයත් පාරේ ලහි ලහියේ දුවන වාහන ශබ්දයත් කණට කටුක මිහිරක් එක් කරන අතර එහි කැටිව ඇත්තේ හුදෙකලාව යැයි මට සිතේ. එහෙම හිතෙන්නේ මට ය. තවෙකෙකුට වෙන විදියකට සිතිය හැක. එක එකා එක එක විදිහ ය.

මම ශාලාව පුරා දෑස් පා කරමි. වේටර්වරයාගේ දෑස් අල්ලා ගැනීම පිණිස ය. ඔහු අතිශය කාර්ය බහුලව ඇත. “ටී….” “ප්ලේන් ටී….” “ආප්ප…” “බිත්තර ආප්ප….” “ඉතුරු සල්ලි….” “වතුර එකක්….” “පෙපර් ටිෂූ….”  නා නා විද විදි විධාන ය. වාසනාවට ඇස් – ඇස් හමුවූ ලකුණකි. මද සිනහවක්ද කැටුව ඔහු ම වෙත ආවේ ය.

“මහත්තයා… ගුඩ් මොර්නින්.. ටිකක් බිසි උණා. අද තනියමද?” ඔහු අසයි. වෙහෙසකර දෑස් හිනැහේ.

“අවුලක් නෑ…. කට්ටිය මග එනවා..”

“මහත්තයා මොනවද කන්නේ අප්ප…? බිත්තර ආප්ප? ආහ් පොල් රොටී තියෙනවා… බත් කනව නම් බත් කමු”  සුපුරුදු ලෙන්ඟතු කටහඬ ය.

“කන දෙයක් පස්සෙ කමු අංකල්. කට්ටිය ආවම. එතකන් ප්ලේන්ටියක් බොමු. සිගරට් එකකුත් ගේන්න. “ඩන්හිල් ස්ව්ට්ච්” එකක්.

හිස් බඩම ප්ලේන්ටි උගුරක් ගිල දමා සිගරට්ටුව දල්වා බිත්තියට ඇලවී හිස ගසා ගත් පසු සුවදායකය. ඉදිරි පස බිත්තියේ සවි කොට ඇති තරමක් විශාල පිටකුරු පංකාව තුලට නිතරඟයෙන්ම ඇද ගන්නා දුම් රැලි නෙක රටා මවමින් අතුරුදන් වෙයි. මනෝ පාර කොතෙක් වේලා පැවතියේ දැයි නොදනිමි. සිගරට්ටුව අවසන්ව තිබිණි. ෆිල්ටරය අළුබඳුන මත පොඩිකර හැර දමා ජංගමයට එබෙමි.

“අඩෝ ! උඹ සිගරට් කීයක් බිව්වද?” එ හඬින් හිස ඔසවමි. “අම්මෝ ඇති යන්තන් ආවා. උඹලට වෙලාවට වැඩක් කරන්න බෑ නෙහ්” කළුවාත්, ඉෂානයාත් පැමිණ ඇත. මම අසුනෙන් නැගිට ඔවුන් වැළද ගමි. “වාඩිවෙයල්ලා ! ඔක්කොටම කලින් මොනව හරි කාලා ඉමු බඩගිනියි බං යකෙක් කන්ඩ” වේටර්වරයා නැවත අල්ලා ගත යුතු ය.

***********************************

හැල්මේ දිවෙයි

17496017_204322073385605_565679481_n

රුදුරු ගොරබිමේ
සැඩ කුණාටු මැද මහ සයුරේ අතරමං
වී රුවල කැඩී පාවී යන
නැවියෝ වෙමු
රුදුරු කතරක
දිය බිදක් නොමැතිව තැවෙනා
දනන් වෙමු අරමුණක් ඇති ද නැතිසේ
ඉබේ දිවෙනා
යන්ත්‍රයන් සේ
එහා මෙහා දිවෙයි
යන්නේ කොයිබටද
කුමකටද?නිනව්වක් නැතිද?
හැල්මේ දිවෙයි
මහා ජන ගඟක් මැද තනිවී..
දිවෙයි දිවෙයි

©හංසි සඳමාලි.

වෙරෝනිකා පිටස්තරයි-03

veronika“ජොවානා වෙරෝනිකා එක්ක ….”

“…මීදුම් පොරෝණා තුංග ගිරිශිඛර මත සුදට ඇතිරෙන්න පටන් අරන්.. හීතල හාත්පසට තුරුළු වෙවී අපේ සිරුරු හීගඩු නංවමින් තිබුණා…අපි ඇවිදන් යමින් උන්නේ ජොවානාගේ ලොකු මාමාගේ තේකට්ටිය මැද්දෙන් ඔවුන්ගේ බංගලාව පැත්තට.. තේ කඩපු ළපටි.. ඒත් බලෙන්ම වගේ මහ ගෑණු බව පත් කරපු කෙල්ලෝ .. තේ කූඩ වල බරින්ම බිමට නැමුණු හිස් එක්ක තේ ෆැක්ටරිය පැත්තට පෝළිමට ගියා…ජොවානා ඇගේ තුනී ගවුමට උඩින් දාගෙන උන්නු වූල් කබාය අත් දෙකින් ඇදලා ඒකට ඇඟට තදකරගන්න ගමන් හතිදම දම කොටයක් උඩ වාඩි උනා.

“… වෙරෝ දුමක් නැද්ද බෑග් එකේ…”
..” කමක් නැද්ද. අසනීපෙ නිසා…”
“ම්ම් මට දීපන්.තියනව නම්.මන් ටවුන් එකට ගියොත් ගන්නවා. යන්න උනේ නැත්නම් රාසට කියල හොරෙන් ගෙන්න ගන්නවා.. ම්ම්ම් මට සිගරට් එකක් වත් බොන්න ඕනි එකපාරටම ඔක්කොම කෝම නවත්තන්නද…”
“…ලොකු මාමාට අහුඋනොත්..”
“..ආහ් එයා දන්නවා …ඒත් මන් ඉස්සර වගේ වෙන මොනාත් ගන්නෙ නෑ කියලා එයා දන්නවා…එ නිසා මොනාත් එහෙම කියන්නෙ නෑ …”
“..මන් ගාව ජොයින්ට් එකක් තියනෝ..”
“.. අනේ ඇත්තමද වෙරෝ උඹ කියන්නෙ.. ගනින් විගහට… ඔහ්හ් මාස අටකින් ….. විතර..
මගෙ පණ.. ගනින් ඕක පත්තු කරලා..”
“”.. උඹට හොඳ නෑහ් නේද ජෝ.””…
“.. ම්ම්ම් ඔව්.. ආ.. ඒත් අද විතරනේ..උඹ ගියාම නෑනේහ්..” මට දැන් පුලුවන් මොනාත් නැතුව උනත් ඉන්න වෙරෝ…”..

මීදුම කුට්ටි පිටින් ගලන්න පටන් අරන්.. අපි දෙන්න කොටේ හරි බරි ගැහිලා ජොයින්ට් එක පත්තු කරගන්න ලෑස්ති උනා..ලයිටරය හොයාගන්න ප්‍රමාදයේදී පවා ජොවානා නොඉවසිලිමත් වෙලා.. ජොයින්ට් එක ජොවානාගෙ දෙතොලට තුරුළු වෙලා… මාදිහාවට එල්ල කරං.. මං සීරුවට පාත් වෙලා ලයිටර දැල්ලෙන් පොඩි බට්ටා ව පත්තු කළා..
ජොවානා පලවෙනි එක උගුරෙන් පහලට ඇද්දෙ පුදුමාකාර පිපාසෙකින් වගේ… ඉන්පස්සේ ඇය නිවෙන්න පටන් ගත්තා.. ඇගේ කිරි පාට කම්මුල් රෝස පාට වෙන්න පටන් අරන්.. මං ඉවසීමෙන් ඇය දිහා බලන් උන්නා.. මීට මාස අටකට කලින් ඇගේ කලුපැහැ ගැන්වුණු හකු බැහැපු ඇස් පතුළටම ගිලුණු තොල් පිපිරුණු අවතාරයක් වගේ විනාශ වෙලා තිබුණු මේ හඳ වගේ ලස්සන මුහුණ මට මතක් වී මගෙ පපුකුහරය හිරවෙන්න ගත්තා..මගේ ඇස් වලට කඳුළු ඉනුවා.
“.. ඒයි වෙරෝ…. ඔහොම මං දිහා බලන්න එපා…”
ශොට් එක මාරු කරන්න අත මාවෙතට දිගු කරන ගමන් ඇ කිව්වෙ කෙඳිරිල්ලකින් වගේ……..

මං ජොවානා එක්කයි මේ ටිකේ ඉන්නේ

….. වෙරොනිකා පිටස්තරයි …..

©වෙරෝනිකා ඩී. සිල්වා.

ලොකු ඇස් අයිති කාටද?

eyes

 

සයිබර අහස සරසන
තරු ඇස් පහස කාගෙද?
නොනිදන දෑස කළඹන
ලොකු ඇස් අයිති කාට ද?

උවනත සරැළි නංවන
මදහස ගෙනෙන සිසිළස
සවනත නිනද නැංවෙන
අනුරා ගලන කටහඬ

සිහිනෙක මැදදි ඇහැරෙන
ආදර දෑස දැල්වෙන
දෑසෙන් හිනාවීගෙන
දන්දෙන සිහින කාගෙද?

තරු ඇස් කියන රහසකි
අරුතක් නොදත් සිහිනෙකි
කවුරුත් නොදත් පහසකි
රන්වන් සිහින දහසෙකි

සයිබර අහස සරසන
තරු ඇස් පහස කාගෙද?
නොනිදන දෑස කළඹන
ලොකු ඇස් අයිති කාට ද?

©නිරුත්තර.

 

 

මම කැමතියි ඔබේ දෙතොලට

couple,-kiss,-romance,-wine-160557මම කැමතියි ඔබේ දෙතොලට
රතු වයින් දෙතොල් පෙති පොඟෝනා විට
දෙතොල් මත රත් පැහැය දිදුළනා විට

මම කැමතියි ඔබේ ඇස් වලට
ආදරය පිරිතිරි දිලිසෙනා විට
සරාගිව දෑස් පොඩි දැල්වෙනා විට

මම කැමතියි ඔබේ තුරුල්ලට
උණුහුමෙහි දැවටෙනා විට
මම කැමතියි ඔබේ කෙහෙරැලි
සුළග හා පැටලෙනා විට
උණුසුම්ම හාදු වැසි
මුව පුරා අතුරනා විට

ඉතින් සොඳුරිය ඉඩ දෙන්න
රතු වයින් මිශ්‍රිත හාදුවක්
දෙතොල මත සතපන්න
ශ්වේත තරු මල් වියන යට
ආදරය අතුරන්න ! ජීවිතය පතුරන්න !

©නිරුත්තර.