හන්තාන අහස යට -03

hanthana copyඔරලෝසු කණුව දෙසට පියනැගෙන අතරතුර කොළඹ A/C හොල්ට් එක අසලින් හැරී පාර මාරුවෙන්නේ නිරායාසයෙනි. මන්ද යත් දුමක් දැමීම අනිවාර්ය වන නිසාත් ඔරලෝසු කණුව අසල සුවපහසු කලාපයක් මේ‍ පාන්දර සොයා ගැනීම උගහට බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනුත් ය. මම ජංගමය ගෙන නැවත ඔහු අමතමි.

“පොඩ්ඩක් හිටපං යකෝ. බොට පුදුම හදිස්සියක්නේ මම තවම ලෑස්තිවෙනවා. උඹ කොහෙද ඉන්නේ?”

“හරි හරි අවුලක් නෑ හෙමිං වරෙන්. මම ගත්තේ උඹට රම්‍යා එකේ උඩ තට්ටුවට වරෙන් කියන්ඩ. කොළඹ A/C හොල්ට් එක ගාව එකට.”

“හරි අපි ඔතෙන්ඩ එනනම්. පැය බාගයක් විතර යයි. උඹ වැඩිය සිගරට් එහෙම බොන්නෑ අපි එනකං”

ඌ හිනාවීගෙන කිය යි. ඒ උගේ හැටි ය. ජංගමය සාක්කුවේ ඔබා ගෙන සෙමින් තරප්පු පෙළ නගිමි. ශාලාව මැදින් පිය මැන බැල්කනියෙහි ඇති මේසයක් වෙන් කර ගනිමි. එළියෙන් ඇසෙන කපුටන්ගේ උදෑසන නන්ස්ටොප් ඝණයේ ගී රාවයත් පාරේ ලහි ලහියේ දුවන වාහන ශබ්දයත් කණට කටුක මිහිරක් එක් කරන අතර එහි කැටිව ඇත්තේ හුදෙකලාව යැයි මට සිතේ. එහෙම හිතෙන්නේ මට ය. තවෙකෙකුට වෙන විදියකට සිතිය හැක. එක එකා එක එක විදිහ ය.

මම ශාලාව පුරා දෑස් පා කරමි. වේටර්වරයාගේ දෑස් අල්ලා ගැනීම පිණිස ය. ඔහු අතිශය කාර්ය බහුලව ඇත. “ටී….” “ප්ලේන් ටී….” “ආප්ප…” “බිත්තර ආප්ප….” “ඉතුරු සල්ලි….” “වතුර එකක්….” “පෙපර් ටිෂූ….”  නා නා විද විදි විධාන ය. වාසනාවට ඇස් – ඇස් හමුවූ ලකුණකි. මද සිනහවක්ද කැටුව ඔහු ම වෙත ආවේ ය.

“මහත්තයා… ගුඩ් මොර්නින්.. ටිකක් බිසි උණා. අද තනියමද?” ඔහු අසයි. වෙහෙසකර දෑස් හිනැහේ.

“අවුලක් නෑ…. කට්ටිය මග එනවා..”

“මහත්තයා මොනවද කන්නේ අප්ප…? බිත්තර ආප්ප? ආහ් පොල් රොටී තියෙනවා… බත් කනව නම් බත් කමු”  සුපුරුදු ලෙන්ඟතු කටහඬ ය.

“කන දෙයක් පස්සෙ කමු අංකල්. කට්ටිය ආවම. එතකන් ප්ලේන්ටියක් බොමු. සිගරට් එකකුත් ගේන්න. “ඩන්හිල් ස්ව්ට්ච්” එකක්.

හිස් බඩම ප්ලේන්ටි උගුරක් ගිල දමා සිගරට්ටුව දල්වා බිත්තියට ඇලවී හිස ගසා ගත් පසු සුවදායකය. ඉදිරි පස බිත්තියේ සවි කොට ඇති තරමක් විශාල පිටකුරු පංකාව තුලට නිතරඟයෙන්ම ඇද ගන්නා දුම් රැලි නෙක රටා මවමින් අතුරුදන් වෙයි. මනෝ පාර කොතෙක් වේලා පැවතියේ දැයි නොදනිමි. සිගරට්ටුව අවසන්ව තිබිණි. ෆිල්ටරය අළුබඳුන මත පොඩිකර හැර දමා ජංගමයට එබෙමි.

“අඩෝ ! උඹ සිගරට් කීයක් බිව්වද?” එ හඬින් හිස ඔසවමි. “අම්මෝ ඇති යන්තන් ආවා. උඹලට වෙලාවට වැඩක් කරන්න බෑ නෙහ්” කළුවාත්, ඉෂානයාත් පැමිණ ඇත. මම අසුනෙන් නැගිට ඔවුන් වැළද ගමි. “වාඩිවෙයල්ලා ! ඔක්කොටම කලින් මොනව හරි කාලා ඉමු බඩගිනියි බං යකෙක් කන්ඩ” වේටර්වරයා නැවත අල්ලා ගත යුතු ය.

***********************************

Advertisements

හන්තාන අහස යට – 02

hanthana copyහන්තාන අහස යට උදෑසන ය. මම ඔරලොසුව දෙසට දෑස් හරවමි. බෑගය සකසා අවසන් ය. නැවත බෑගය පිරීක්සමි. නැතහොත් ගෙදර ගිය පසු බොහෝ දෑ අමතක කර අවිත් බව වැටෙහනු ඇත. කෙසේ  වුවද කුමක් හෝ යමක් අමතක වන බවද මා අත්දැකීමෙන් දනි. බෑගය කරේ ඒල්ලා ගෙන පිටු පස ගේට්ටුවෙන් පිට වෙමි.  පාර දෙපස තණ ඇතිරිල්ලේ දිදුලන්නේ පිණි බිඳු ය. තණ පත් මත හිනැහි හිනැහි දිදුලන පිණි බිඳු තව හෝරාවකින් දෙකකින් සැඩ හිරු රැසින් වියැකී යෑමට නියමිත වුව ඒ වගක් නොදැන හිනැහෙන්නේය. සංසාරය මෙන්ම ය. බස් රථය පාර අද්දර නවතා ඇත. සිගරට්ටුවක් ඉරීමේ අවශ්‍යතාවය තදින් දැනුනද ඈතින් පෙනෙන්නේ තවමත් විවෘත්ත නොවූ කුඩා කඩපළේ ලෑලි පෙල ය. මම බසයට ගොඩ වෙමි.  ජෙන්ලය අසල අසුනක් අල්ලා ගැනීමේ උවමනාවෙනි. ඉන් පසු විනාඩි තිහක පමණ කාලයක් මනෝ ලෝකයක අතරමං විය හැකි ය. තනිව බසයක ගමන් ගන්නා සෑම අවස්ථාවකම මේ ඇබ්බැහියෙන් මිදීමට මට නොහැකි ය. මම එයට බොහෙවින් ආශක්තව සිටිමි. මා සන් මිත්‍රයා ගේ යෝජනව පිළිබදව අද කතා කර ගත යුතුව ඇත. දින තුනක නිවාඩුවක් අනුමත කර ගත්තේද එබැවිනි. මම දුරකථනයෙන් ඔහුගේ අංකය අමතමි.

+මචං ! මොර්නින්..

-‍ ගුඩ් මෝර්නින් උඹ කොහෙද? 6.30 වෙද්දි ටවර් එක ගාවට වරෙන්.

+ මම බස් එකේ තව පැය බාගයක් යයි. අරුන් දෙන්නත් මග එනවා

-එළ කිරි. ඇවිත් කතා කරමුකෝ. එහෙනම් තිබ්බා.

දුරකතනය විසන්දි වෙයි. කතාව අළුත් රැකියාවක් ගැන ය. මගේ බොහෝ මිතුරන්ට කලියෙන් රැකියා ලෝකයේ වැඩ ආරම්භ කිරීමට සිදු වූයේ මගේම හිතුවක්කාර තීරණයක ප්‍රතිඑලයක් ලෙසට ය. කෙසේ වතුදු ජීවිතය ගැනවත් ආනාගතය ගැනවත් සැලසුම් සහගත බලාපොත්තුවක් මට නොවිණි. බලාපොරොත්තු වූයේ අසම සම නිදහසම පමණි. උසස් පෙළ විභාගයෙන් පසුව අයියාගේ සම්බන්ධතාවක් මත ජීවිතේ පළමු රැකියා අස්ථාව දෛවය විසින් තොරා බේරා දුන්නේය. රජරට එක්තරා සංචාරක හොටලයක වේරර් වරයෙකු විදියට ය.ඉන් අවුරුද්දකට පමන පසු මගේ සන් මිත්‍රවරයාගේ සම්බන්දතාවයකට අනුව දැන් මා නිරත රැකියාව ලබන්නේ හන්තාන අහස යට ය.මා උපන් අහස යට ය. දෙවැනි රැකියාව එහිම දිගුවක් ය. වේටර් වරයෙකි. කාමර හතක ගෙස්ට් හවුස් එකකට වඩා තරු පන්තියේ හොටලයක් අගනේ ය. සැබැවින්ම උසස් වීමකි. බසය මහනුවර ගුඩ් ශෙඩ් බස් නැවතුමේ නවතී. ඔරලොසු කණුව ලඟ ට යා යුතු ය. උදෑසන නගරය කලබලකාරි වුවද නිදහස් ය. හන්තාන අහසට සමු දී කොලොඹ අහස යටට යා යුතු ව ඇත. මේ ආරම්බ වන්නේ එහි පළමු අදියරය. රැකියා ලොකයේ තනි වෙනවාට වඩා කල්ප කාලයක් දන්න අඳුන මගේ උන් සමග මොන අපායකට ගියද සැපකි. සිගරට්ටුවක අවශ්‍යතාව නැවත මතුවන්නේ වුව තව විනාඩි පහක් ඉවසිය හැකි ය. නුවර අහස මඳැඳුරය මම ඔරලොසු කණුව දෙසට පිය නගමි.

මතු සම්බන්දයි.

 

“හන්තාන අහස යට” – 01

hanthana copy

“එදා ඒ අතිශය තීරණාත්මක කාර්යයට සියල්ල සූදානම් වෙමින් තිබුණා. ඇත්තටම තීරණාත්මක කියල කිව්වට මට එහෙම ලොකු හැඟීමක් තිබ්බේ නෑ. හැම දේම සිද්ධ වෙන තැනට තල්ලු උනා කියල කිව්වොත් ඒ හැටි වැරැද්දක් නැහැ.

ඒ වෙනකොට මම කෙල්ලකේ එක්ක මූණට මූණ වචන දහයක් කතා කරලා නෑ. මට එහෙම උවමනාවක් තිබුණෙ නෑ. උවමනාවක් තිබුණේ නෑ කිව්වම ඒක එච්චර අවංක නෑ වගේ. අවංකවම මට ඒ ගැන කියන්න මතක නෑ. මොකක් හරි හේතුවකට මට ලව් සීන් දිරෙව්වේ නෑ. මගේ මිත්‍ර සනුහරේ හැම එකාටම වගේ කෙල්ලෙක් හිටියා. සමහරුන්ට දෙක තුන.

මේ කතාව පටන් ගන්නේ මේ කියන දවසට අවුරුදු දෙකකට විතර කලින්. ඒක තනිකරම අහම්බයක්..ඇත්ටම ඒක කෙටිම කෙටි පණිවිඩයක් ඒ කියන්නේ මැසෙජ් එකක් එහෙම නැත්නම් ඒස්.එම්.එස් එකක්………….
-හේශාන් වීරසිංහ.”

හන්තාන සිසාර එන සිහිල් සුළං රැල්ලක් සියොළඟ දැවටි දැවටී හති හලයි. පිහිනුම් තටාකය මුහුණලා සිටින්නේ මහනුවර නගරය දෙසට ය. මම තටාකයේ එක් පසෙක ගැට්ටෙහි හිඳ ඉදිරියට ඇවිද යමි. අනන්ත අහස මත වෙහෙස වූ දෑස පා කර හරිමි. අසංඛ්‍යය වූ තාරකාවෝ කාල වර්ණ අහස් ගැබ සිසාරා ප්‍රේමය විසුරුවයි. ආඩම්බරකාර සඳවතිය පුර්ණව නුබ ගැබ බබලවයි. හාත්පස සඳ එළිය පතුරවයි. මම කෙලවරක වූ “සන් බෙඩ්” එකක ඇලවෙමි. රාත්‍රිය අතිශය චමත්කාරජනකය. මම රාත්‍රිය ප්‍රිය කරන්නේ වෙමි. දැහැන බිඳෙන්නේ ජංගමය හැඬවීමෙනි. කෙටි පණිවිඩයකි. ඇය ගෙනි. මගේ හිත ගත් මිතුරියගෙනි. හිතවතියගෙනි.

+”අයියා, දැන් ආවේ ගෙදර. ඔයා මොකෝ කරන්නේ? තාම වැඩ ද?”

-“ඔව් නංගා.. තාම වැඩ. මහන්සිද ඉතින්.? කොහොමද ක්ලාස් එක? හොඳයි ද?”

+”ම්ම්.. හොඳයි.. ඒක නෙවෙයි දන්නවද වැඩක් මට අද උත්පලාගේ යාළුවෙක් ප්‍රපෝසල් එකක් ගෙනාවනේ
. එයත් එනවා ක්ලාස් එකට. අයියෝ ලැජ්ජාවේ බෑ.”

මම පිළිතුරු නොදෙමි. එක්වරම හදවතේ යමක් හිර වූ බවක් හඟීමි. මම සිනහා මුහුණක් සමග “ඉතිං හොඳයි නේ” යනුවෙන් ලියා යවමි. ඇත්තෙන්ම හොඳය මට සිතේ. ඇය මගේ යෙහෙළිය යි. වැඩි කලක් නැතත් ඇසින් දැක නැතත් අපි බොහෝ ළං වීමු. ජංගමය නුපුරුදුව උන් මම දැන් දිනකට කෙටි පණිවුඩ සියයකට වැඩි වුව අඩු නොවන ප්‍රමාණයක් ඇයට යවමි. ඇය ද එසේම ය. හදවතේ හිර වූයේ කුමක් ද? හදවතේ නොදන්නා කෙලවරකින් ඉසියුම් වේදනාවක් උපදී. ඒ මන්ද? මට නොහැඟේ. කෙටි පණිවිඩයකට ජීවිතයක් වෙනස් කල හැකිය. මම සිතමි.

අහසෙන් දෙනෙත් නොගෙනම දුම් වැටියක් අවුළුවා ගනිමි…පෙනහළු පුරවාළු දුම් රළ අහසට පිඹිමි.

-නිරුත්තර.
මතු සම්බන්ධයි..