හීනයක් නොවන වග දැණුනා
රෝස මල් පෙති තදින් සැළුනා
පෙති මතින් මකරන්ද දිළුණා
සුරාන්ත හීනයක සුරඟනක් ගිළුණා
තනි යහන්ගත සිහින එළිවෙනා දිනකී
කුමරි බඹසර සිහින සඟවනා හිතකී
කුමරු සැනහෙන තවත් එක්තරා තැනෙකී
සල්ලාල බඹර තුඩ පැටලෙනා ළඳකී
- නිරුත්තර.
හීනයක් නොවන වග දැණුනා
රෝස මල් පෙති තදින් සැළුනා
පෙති මතින් මකරන්ද දිළුණා
සුරාන්ත හීනයක සුරඟනක් ගිළුණා
තනි යහන්ගත සිහින එළිවෙනා දිනකී
කුමරි බඹසර සිහින සඟවනා හිතකී
කුමරු සැනහෙන තවත් එක්තරා තැනෙකී
සල්ලාල බඹර තුඩ පැටලෙනා ළඳකී
නින්ද
අහලකටවත්
පැමිණෙන්නෙ නැත !
ඇස් වසමි
ඇස් අරිමි
ඇස් වසමි
ඇස් අරිමි
ඔබය…
ඔබම ය.
හිත නිවන
හිස නිවන
ඇස නිවන
ඔබ රුව ය
සිහිනයක සැරි සරමි
මතකයට අඬගසමි
කඳුළකට ඇහැරෙන්න
ඇස් වසමි
හිත අස්සේ
හිස අස්සේ
ඇස අස්සේ
හැම තැනම හැම විටම
ඔබ ය
ඔබ රුව ය…
© නිරුත්තර.
ඔබට බැදි අපරිමිත ස්නේහයට
සාක්ෂියි මේ කවි
ළමැද්දට පහර දෙන බව දැනේ
විරහවේ බර අවි
මොක උනත් උඹ හොඳින් ඉඳි නම්
දැනට මට ඒ ඇති
තප්පරෙන් තප්පරේ කඳුළු වැල්
අළුත්වෙන එක තමයි
ඉවසන්න බැරි
ආදරේ නොවෙනස්ව තියෙන වග මං කියා දෙන්නම්
ජීවිතේ නේක පැන වලට විසඳුම් හොයා දෙන්නම්
මාවතේ ගල් බොරළු කටු පඳුරු මං බලා ගන්නම්
ආදරේ පපුතුරේ දාරාගෙන උඹ හිනා වේ නම්
රාත්‍රිය ගෙවන හැටි මට හොයා ගන්න බැරි වෙයි
ආස්‍රය කරපු හැටි මතක් වී දෑස බර වෙයි
සහස්‍රකයක් උනත් බලන් ඉන්නට නොහැකි ඇයි?
උඹේ එක වචනෙකින් හදවතේ අඳුර දුරුවෙයි
මැණික උඹ හොඳින් හිටපං !
කවද හරි කතා කරපං !
නීල නිල්මිණි දෙනෙතට
සීත කඳුළක් මොකටද?
සුසුම් පොදි මැද ගුලි කර
අතහැරලන්න අහසට
හදවත පතුල කැන
රුදුරු අක්මුල් ගලව ගනු මැන
වසන්තය වුව ස්ව කැමැත්තෙන්
හද අරණ්නෙට ළඟා වෙනු ඇත
හසරුල් පළන්ඳාගෙන
තරු කැට පරද්දාගෙන
ඔය ඇස් හිනා වෙන කොට
සීත කඳුළක් මොකටද?
සුසුම් පොදි මැද ගුලි කර
අතහැරලන්න අහසට
© නිරුත්තර.
ඉරිතැළුණු හදවතක නතරව
ඉසිඹුලන්නෙද නුඹ?
ඇස’ග නැග එන කඳුළක
දන්න රහසකි මම
සොඳුර ! රිදුනෙද හිත?
හද මැදුර දෙදරවා
වේදනා ගිනි කන්ද පුපුරවා
දුක’ඳුළම උරුම කළ,
අතීතය දරාගෙන මම
කඳුළු බිඳුවක තිබෙන,
හද පුළුස්සා දමන,
වේදනා දැන හැඳින
හිඳින මිනිසෙක් වෙමි මම
ඈත සුදිළෙන පැතුමක
මෑත හිනැහෙන සිහිනෙක
රඳවන්න ඔය හිත
එපමණෙකි, දැන් අවැසි මට
© නිරුත්තර.
නිනද දෙන ඔය කටහඬ
දෙසවන් සුවෙන් සනහයි
එකම හුස්මක පහසින්
හදවත් කුහර පිරවෙයි
ආගන්තුකය හදවත්
නමුදු ආදර බැම්ම ලියලයි
මෙලෙස ඇරඹෙන ගමනක
ඔබට මගියෙකු වෙන්න හැකිවෙයි
දිගු ගමන අභියස ද
දිගු ගමන කෙළවර ද
ආදරිය නුඹ එළඹෙන
පිවිසුම මෙන්ම පිටවුම,
ගැහෙන හදවත් පතුලක
දැඩිව සලකුණු කරවයි
© නිරුත්තර.
මල් පිපෙන වසන්තය හද බිමට කැන්ඳාන
ගී ගයන කිරිල්ලිය මඳහසක් රන්ඳාන
අඳුර විනිවිද ගලන තරු එළිය පතුරාන
බිඳුණු හද බිතක් මත සිහිනයක් ඇන්දාය
මේ සිහින අතරතුර සිනාසෙන්නට හැකිය
බිඳුණු තැන් රිඳුනු තැන් පිරිමදින්නට හැකිය
හිස ගසා හඩන්නට පපුව දෙන්නට හැකිය
නමුදු මේ සිහිනයට නමක් දෙන්නට නැතිය
සිහිනයක සොඳුරු බව විඳින්නට ඉඩ දෙන්න
දෙනෙත් යට කඳුළකට වියැලෙන්න ඉඩ දෙන්න
හද බිතෙහි අඳුරු මුළු වල පහන් දල්වන්න
සිහිනයට ඇහැරෙන්න පෙර හදෙහි සැතපෙන්න
© නිරුත්තර.
අහසේ තැළුම් පහරකි
සඳ පැහැරගෙන ගොසිනි
මුරට සිටි තාරකා
සිදුවූ කිසිත් නොදනිති
අවසන් වරට ඇඳ සිටියෙ
දුහුල් රෑ සළුවකි
දැනට සැක සහිත එක්
පොළොවේ උමතු කවියෙකි …..
© දිනූ රාජගුරු
*****************************
උමතු කවි පද හද හද
කොයි තරම් නම් ලිව්වද?
උමතු වෙන්නට හේතුව
ඔය කවුරුවත් ඇහුවද?
මුරකාර තාරකා පිරිවර
මොනතරම් මට රැව්වද?
අමාවක දා රෑට ඉස්සර
කොච්චරක් නං බිව්වද?
දුහුල් සළු පිළි ඇඳගෙන
තාරකා රැකවල් පැළඳගෙන
ආඩම්බරෙන් උන්නට
කිසිවෙකුත් නොදන්නා
කතාවක් සඳට වුව,
තිබෙන්නට නොහැකි ද?
උමතු කවි හදවත
පැහැරගත් සඳවත
“මං කොහොම අහසේ
සිර ගතව තව ඉන්නද?”
අන්තිමට අඬ අඬා කිව්වම,
අහසට දෙකක් ඇන
තාරකා ඇස් බොඳ කර
පැහැරගෙන යනු මිස
උමතු කවියෙකු මක් කරන්නද?
© නිරුත්තර.
සයිබර අහස සැරසූ
ලොකු ඇස් අයිතිකාරී
කිංකිණි සීණූ හැඬවූ
ඔබ ඒ ගායිකාවී
බිඳෙන් බිඳ හද ලං වූ
නමක් නැති බැමි බැන්ඳූ
ඉතින් ඒ ගී සිංදු
ගයා ඉවරද ළන්ඳූ?
දුර ඈත ඇමතුමක තාලයට
ම’හදවත මල් පිපෙයි
තද සීත රාත්‍රියෙක උණුහුමට
හිත් දෙකක් තුරුළුවෙයි
ඒ නමුදු ඒ සිහින අපෙ නෙවෙයි
විඩෙන් විඩ
මැසෙන්ජරයට එබෙමි
විඩෙන් විඩ
තවත් පණිවුඩ තබමි
ඔබ වෙනත් ඇමතුමක,
හිත නිවන ඒ සිහින
පෙම්බරයි
ඒ නමුදු ඒ සිහින
මගෙ නෙවෙයි
© නිරුත්තර.