“එදා ඒ අතිශය තීරණාත්මක කාර්යයට සියල්ල සූදානම් වෙමින් තිබුණා. ඇත්තටම තීරණාත්මක කියල කිව්වට මට එහෙම ලොකු හැඟීමක් තිබ්බේ නෑ. හැම දේම සිද්ධ වෙන තැනට තල්ලු උනා කියල කිව්වොත් ඒ හැටි වැරැද්දක් නැහැ.
ඒ වෙනකොට මම කෙල්ලකේ එක්ක මූණට මූණ වචන දහයක් කතා කරලා නෑ. මට එහෙම උවමනාවක් තිබුණෙ නෑ. උවමනාවක් තිබුණේ නෑ කිව්වම ඒක එච්චර අවංක නෑ වගේ. අවංකවම මට ඒ ගැන කියන්න මතක නෑ. මොකක් හරි හේතුවකට මට ලව් සීන් දිරෙව්වේ නෑ. මගේ මිත්‍ර සනුහරේ හැම එකාටම වගේ කෙල්ලෙක් හිටියා. සමහරුන්ට දෙක තුන.
මේ කතාව පටන් ගන්නේ මේ කියන දවසට අවුරුදු දෙකකට විතර කලින්. ඒක තනිකරම අහම්බයක්..ඇත්ටම ඒක කෙටිම කෙටි පණිවිඩයක් ඒ කියන්නේ මැසෙජ් එකක් එහෙම නැත්නම් ඒස්.එම්.එස් එකක්………….
-හේශාන් වීරසිංහ.”
හන්තාන සිසාර එන සිහිල් සුළං රැල්ලක් සියොළඟ දැවටි දැවටී හති හලයි. පිහිනුම් තටාකය මුහුණලා සිටින්නේ මහනුවර නගරය දෙසට ය. මම තටාකයේ එක් පසෙක ගැට්ටෙහි හිඳ ඉදිරියට ඇවිද යමි. අනන්ත අහස මත වෙහෙස වූ දෑස පා කර හරිමි. අසංඛ්‍යය වූ තාරකාවෝ කාල වර්ණ අහස් ගැබ සිසාරා ප්‍රේමය විසුරුවයි. ආඩම්බරකාර සඳවතිය පුර්ණව නුබ ගැබ බබලවයි. හාත්පස සඳ එළිය පතුරවයි. මම කෙලවරක වූ “සන් බෙඩ්” එකක ඇලවෙමි. රාත්‍රිය අතිශය චමත්කාරජනකය. මම රාත්‍රිය ප්‍රිය කරන්නේ වෙමි. දැහැන බිඳෙන්නේ ජංගමය හැඬවීමෙනි. කෙටි පණිවිඩයකි. ඇය ගෙනි. මගේ හිත ගත් මිතුරියගෙනි. හිතවතියගෙනි.
+”අයියා, දැන් ආවේ ගෙදර. ඔයා මොකෝ කරන්නේ? තාම වැඩ ද?”
-“ඔව් නංගා.. තාම වැඩ. මහන්සිද ඉතින්.? කොහොමද ක්ලාස් එක? හොඳයි ද?”
+”ම්ම්.. හොඳයි.. ඒක නෙවෙයි දන්නවද වැඩක් මට අද උත්පලාගේ යාළුවෙක් ප්‍රපෝසල් එකක් ගෙනාවනේ
. එයත් එනවා ක්ලාස් එකට. අයියෝ ලැජ්ජාවේ බෑ.”
මම පිළිතුරු නොදෙමි. එක්වරම හදවතේ යමක් හිර වූ බවක් හඟීමි. මම සිනහා මුහුණක් සමග “ඉතිං හොඳයි නේ” යනුවෙන් ලියා යවමි. ඇත්තෙන්ම හොඳය මට සිතේ. ඇය මගේ යෙහෙළිය යි. වැඩි කලක් නැතත් ඇසින් දැක නැතත් අපි බොහෝ ළං වීමු. ජංගමය නුපුරුදුව උන් මම දැන් දිනකට කෙටි පණිවුඩ සියයකට වැඩි වුව අඩු නොවන ප්‍රමාණයක් ඇයට යවමි. ඇය ද එසේම ය. හදවතේ හිර වූයේ කුමක් ද? හදවතේ නොදන්නා කෙලවරකින් ඉසියුම් වේදනාවක් උපදී. ඒ මන්ද? මට නොහැඟේ. කෙටි පණිවිඩයකට ජීවිතයක් වෙනස් කල හැකිය. මම සිතමි.
අහසෙන් දෙනෙත් නොගෙනම දුම් වැටියක් අවුළුවා ගනිමි…පෙනහළු පුරවාළු දුම් රළ අහසට පිඹිමි.
-නිරුත්තර.
මතු සම්බන්ධයි..